හැදුන නගර සහ හිතල හදන නගර

DSC_35472-640x416මිලින්ද රාජපක්ෂ – මේ දවස්වල මගේ පාකිස්තානු මිතුරන් කිහිප දෙනෙක් පුහුණුවක් සඳහා කොළඹට ඇවිත් ඉන්නවා. මම මුලින්ම ඉස්ලාමාබාද් නගරයේ සිට ලාහෝර් දක්වා බස් එකෙන් යනකොට කාන්තාවන් පමණක් වාඩිවන පැත්තේ වාඩිවෙලා සිදුවුණ අකරතැබ්බයක් ගැන කතා වෙන අතරේ මුළු කතාබහම නගර සහ ගමනාගමනය පැත්තට යොමු වුණා. ඉස්ලාමාබාද් තමා අපේ කලාපයේ තිබෙන ‘සැලසුම් සහගත නගරයකට’ හොඳම නිදසුන. හැම දෙයක්ම, මිනිස්සු ජීවත්වෙන ප්‍රදේශ, කඩ සහ සාප්පු, විනෝද වන ප්‍රදේශ, උද්‍යාන, වාහන ගාල් කිරීම, අවන්හල්, රාජ්‍ය ආයතන, තානාපති කාර්යාල – මේ හැම දෙයක්ම මනා සැලසුමක් සහිතව තමා නිර්මාණය කරල තියෙන්නේ. ඉස්ලාමාබාද් අපේ කලාපයේ ජනප්‍රිය අනෙක් නගරවලට සාපේක්ෂව අලුත් නගරයක්. එහෙ ආරක්ෂාව තමා එක. ඒ නිසාම ලාහෝර් තරම් විනෝදශීලි නෑ. හැබැයි හැමෝටම ඉඩක් තියෙනවා. ඉතාම අඩු මිලට පිරිසුදුව කන්න නවතින්න තැන් වගේම පාකිස්තානයේ මිල අධිකම තැන් තියෙන්නෙත් ඉස්ලාමාබාද්වල.

සැලසුම්සහගත අලුත් නගර හදන එක දැන් ඉස්සරටත් වඩා ජනප්‍රියයි. තවදුරටත් සාම්ප්‍රදායික සහ ජනප්‍රිය නගරවලට ජනගහනය සහ ඔවුන්ගේ අවශ්‍යතා සපුරන්න බෑ. කොයිතරම් ඉහලට බිල්ඩින් හැදුවත් මිනිස්සුන්ට නිදහසේ කන්න, ඇවිදින්න, වැඩිහිටියන්ට ව්‍යායාම කරන්න, තරුණයන්ට සෙල්ලම් කරන්න, දරුවන්ට අහස ගහකොළ සහ පොළොව දකින්න ස්වභාවික ඉඩ කඩක් අත්‍යශ්‍යයි. දිල්ලි, මුම්බායි, ඩකා, කත්මන්ඩු වගේම කොළඹත් මුහුණ දෙන ලොකුම අභියෝගය තමා මිනිස්සුන්ට රෑට නිදාගන්න වහලක් හරි දවල්ට වැඩකරන්න ඔෆිස් කාර්යාල සැපයීමෙන් එහාට ගිහින් සමබර ජිවිතයක් ගතකරන්න අවශ්‍ය පහසුකම් සපයන සමතුලිත නගරයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක.

මේකට උත්තරයක් විදියට ඉන්දියාව වේගයෙන් අලුත් නගර නිර්මාණය කරමින් යනවා. දිල්ලි වලට සැතපුම් කීපයකට එහා මේ වගේ නගර කිහිපයක්ම බිහිවුණා. මිනිස්සු ඒ නගරවලට යන්න කැමතියි මොකද ඉඩකඩ වැඩියි, වාතය සහ ජලය පිරිසිදුයි, පාරවල් පුළුල්, ගොඩනැගිලි සහ ආයතන පිහිටා තිබෙන ආකාරය ක්‍රමවත්. අනෙක් විශේෂම දේ තමයි මේ නගර බොහොමයක් හරිත නගර ලෙස සංවර්ධනය කිරීම. සුර්ය බලයෙන් වීදි ලාම්පුවල සිට තට්ටු නිවාස දක්වා ආලෝකවත් වෙනවා. මාර්ග භාවිතය ක්‍රමවත් නිසා වාහන තදබදයට ඇත්තේ අඩු ඉඩක්. හැම නගරයක්ම අධිවේගී මාර්ග හරහා ළඟම ප්‍රධාන නගරයට යා වෙනවා. සමහර නගර වලටනම් පොඩි ගුවන් තොටුපළකුත් තියනවා.

ඉතින් සමහර විශාල ආයතන ඔෆිස් එක පිටින්ම මේ නගරවලට යනවා. එහෙ වැඩට එන්න සේවකයන්වත් දිරිගන්වනවා. අලුත් නගරය තිරසාර වෙනවා විතරක් නෙමෙයි පරණ නගරයේ බරත් සැහැල්ලු වෙනවා. කත්මන්ඩු වගේ නගර ගත්තොත් කොයිතරම් ජනාවාස සහ ජරාවාස වෙලාද කියනවනම් සංවර්ධන කටයුත්තක් සඳහාවත් ඉන්න තැනකින් මිනිස්සු අයින් කරන්න විදියක් නෑ. අලුත් සංවර්ධන කටයුතු ප්‍රධාන නගරයෙන් ඉවතට ගෙනයන එක තමා එකම විසඳුම.

කොළඹ නගරය ගැන අපි ටිකක් හිතල බැලුවොත්, කොටුවේ බස් සහ කොච්චි නැවතුම. පිටකොටුව කියන්නේ ඇඟිල්ල ගහන්නවත් ඉඩක් නැති තරමේ මාකට් එකක්. ගාලු පාර දිගටම දෙහිවලට යනකම් එකදිගටම උසම උස ව්‍යාපාරික බිල්ඩින් හැදෙනවා, දෙමටගොඩ පැත්ත අධික ලෙස ජනාවාසයි. කොළඹ 7 හරියේ තානාපති කාර්යාල, ආණ්ඩුවේ උසස් නිල නිවාස සහ පාරම්පරික ගෙවල් තියෙනවා. බොරැල්ල පැත්ත හොඳටම වාණිජකරණයට ලක්වෙලා විතරක් නෙමෙයි මිනිස්සු ලක්ෂයක් විතර කුඩා ඉඩකඩ ප්‍රමාණයක ජීවත්වෙනවා. නාරාහේන්පිට කිරුළපන අලුතින් එන උස අපාර්ට්මන්ට් වලට ජනපියයි. වැල්ලවත්ත තට්ටු නිවාසවලින් පිරෙන්න පටන් අරන්. සාමාන්‍යයෙන් අපිට දැන් අදහසක් තියෙනවා සිංහල අය වැඩියෙන්ම ඉන්නේ මොන පැති වලද, දෙමළ ක්‍රිස්තියානි අය වැඩිපුර ජීවත්වෙන්නේ මොන පැතිවලද, අහවල් පැත්තේ ගෙයක් කොච්චර ගණන්ද වගේ දේවල්.

හැබැයි එක දෙයක් අපි හැමෝටම අවබෝධ වෙලා තියෙනවා, ඒ තමයි බොහොමයක් පාරවල් ලොකු කරන්න විදියක් නෑ, අලුත් අතුරු පාරවල් හදන්න විදියක් නෑ, මේ අලුත් අපාර්ට්මන්ට්වලට මිනිස්සු ආවම සහ ඒ මිනිස්සු වාහන අරන් ආවම තියෙන තදබදයට මොනවා වෙයිද? වරාය නගරය අනිත් පැත්තෙන් එද්දී එදිනෙදා කොළඹ නගරයට ඇවිත් යන්න එන මිනිස්සු ප්‍රමාණයත් එන්න එන්නම වැඩි වෙනවා. හැබැයි කොළඹ පැල්පත්වල ජීවත්වෙන අයවත්, කඩ කරන අයවත්, අලුතින් වටිනා අපාර්ට්මන්ට් ගන්න එන අයවත් කොළඹින් පොඩ්ඩක්වත් පිටට යන්න කැමති නෑ. ඒකට හේතුව හරිම සරලයි. කොළඹින් කිලෝමීටර පහක් එහාට ගියොත් කොළඹට එන්න පැය එකහමාරක් යනවා.

මම නම් හිතන්නේ කොළඹින් මිනිස්සු අයින් කරන්න කලින් රාජ්‍ය ආයතන ටික අයින් කරන්න ඕනා. දැනුත් කෝටි ගණන් ජනතා බදු සල්ලිවලින් රෙන්ට් එක ගෙවමින් අමාත්‍යාංශ කිහිපයක්ම ගාලු පාරේ සහ බොරැල්ල සහ තදාසන්න ප්‍රදේශවල තිබෙනවා. මේ ටික අඩුම ගානේ බත්තරමුල්ල සහ ඉන් එහාට ගෙනිච්චනම් කොළඹට දිනපතා එන මිනිස්සු ප්‍රමාණය ලක්ෂයකින්වත් අඩුවෙයි.

ඊළගට ප්‍රධානම වාණිජ කටයුතු. වාහන සේල් තියෙන්නෙත් ටවුම මැද්දේ. ඇතැම් වාණිජ කටයුතු නගරයෙන් මදක් එළියට ගෙනියනකම් මිනිස්සු ගෙනියන්නනම් හම්බවෙන්නෙ නෑ. මොකද මේ හැම අඩු පහසුකම් සහිත නිවාසයකම ජීවත්වෙන මිනිස්සු කොළඹ වාණිජ කටයුතුවලට කෙළින්ම සම්බන්ධයි. කොළඹ කියන්නේ නිකම්ම නිකම් බිල්ඩින් ගොඩක් විතරක් නෙමෙයි. මුළු නගරයම දුවන්නේ ලක්ෂ තුනක් විතර වතුවල ජීවත්වෙන මිනිස්සුන්ගෙන්. ඉතාම අඩු පහසුකම් යටතේ වුනත් ඔවුන් ඉන්නේ මේ වාණිජමය සම්බන්ධය නිසයි.

කොළඹ ආසන්නයේ තිබෙන උප නගර නම් වේගයෙන් දියුණු වුණා. අවුරුදු පහකට කලින් තිබුන තලවතුගොඩ සහ දැන් තලවතුගොඩ අතර වෙනස කොහොමද? නමුත් උදේ වැඩට එන වෙලාවට තලවතුගොඩ ඉඳන් කොල්ලුපිටියට එන්න බොරැල්ලේ ඉඳන් කුරුණෑගලට යන්න යන වෙලාව යනවා. නමුත් අවාසනාවකට හැම පෞද්ගලික ආයතනයක්ම කොහොමහරි ගාලු පාර පැත්තටම එන්න හදනවා.

ඒ නිසා තමයි මම හිතන්නේ අපිට අවශ්‍ය තලවතුගොඩ වර්ගයේ නගර නෙමෙයි කොළඹ ජීවිතය තියෙන අවිස්සාවේල්ලක් හෝ පාණදුරක්. හැබැයි පාණදුර ඉඳන් පැය බාගෙන් බස් එකේ කොල්ලුපිටියට එන්න පුළුවන් වෙන්නත් ඕන. අවිස්සාවේල්ල ඉඳන් කොළඹ එන්නේ නැතුව කෙළින්ම පාණදුරට යන්නත් පුළුවන් වෙන්න ඕන. එදාට අපි කිවත් නැතත් මිනිස්සු කොළඹ පැල්පත් දාල පරිවාර නගරවලට යනවා. ඉන්දියාවේ මම දැකපු වැදගත්ම දේ තමයි ආණ්ඩුව කරන්නේ ජලය පාරවල් විදුලිය වගේ අත්‍යවශ්‍ය දේවල් නියමිත වෙලාවට සපයල පෞද්ගලික අංශය දිරිගන්වනවා නගරය නිර්මාණය කරන්න. අපේ පරිවාර නගර බිහිවෙලා තියෙන්නෙත් මිනිස්සුන්ගේ උනන්දුව නිසා. ඒත් ආණ්ඩුවට බෑ හරිහමන් පොදු ප්‍රවාහන සේවයක් නඩත්තු කරන්න මිනිස්සුන්ට දාඩිය දාන්නේ නැතුව පැය බාගෙන් වැඩට එන්න.

සිළුමිණ පුවත්පතේ පළවූ ලිපියකි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s