ජනරජයක්ද ? කොළනියක්ද ?

චරිත හේරත් – අපේ රටේ ජනරජ දිනය යෙදෙන්නේ මැයි මාසයේ 22 දටය. මේ කාලයේ තරුණයින්ට මේ පිළිබදව එච්චර දැනීමක් නැති වුනාට අපේ රටඅපිම පාලනය කරන ජනරජයක් බව පත් වූයේ 1972 මැයි 22 සම්මත වූ දෙවන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවත් සමගය.

1970 මැතිනියගේ ආණ්ඩුව මේ දිනය ජනරජ දිනය ලෙසින් ප‍්‍රකාශයට පත් කළා පමණක් නොව අපේ රට නිදහස් වූ දිනය ලෙසින් ඒ දිනය සමරන්නටත් පටන් ගත් බව වැඩිහිිටි බොහෝ අය දන්නා කාරණයක්යග 1977 ජේ.ආර් ගේ පාලනය පැමිනි විගසම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නටත් කලියෙන් ඔහු කළේ ජනරජ දිනයේ නිවාඩුව අහෝසි කිරීමය. එපමණක් නොව වහාම කි‍්‍රයාත්මක වන පරිදි නිදහස සැමරීම නැවතත් පෙබ 4 දිනට (අයිවර් ජෙනිස් ගේ බිරිදගේ උපන් දිනය දවසටම ගෙනාවේය. 1977 එජාප ආණ්ඩුව 1994 අපි පරාජයට පත්කළත් මේ කාරණය ගැන අලූතින් සිතන්නට අලූත් ශ‍්‍රීලනීප රජයන් එකක්වත් කටයුතු කළේත් නැති බව මෙහිදි පැවසිය යුතුමය.
මේ කාරණය ගැන වැදගත් ලිපි දෙකක් පසුගිය සතියේ පළකර  තිබුනි. එයින් එකක් ලියා තිබුනේ සම සමාජයේ නායක තිස්ස විතාරණ විසින්ය. ඔහු තර්ක කරන්නේ දැන් තියෙන  එජාප ආණ්ඩුවත් සමග අපි ‘ජනරජයෙන්’ ගැලවී බටහිර ‘කොළනියක්’ බවට සීඝ‍්‍රයෙන් පත්වෙමින් සිටින බවය. අනෙක් ලිපිය ධම්ම දිසානායකගේ ය. ඔහු කියන්නේ නැවතත් ජනරජයක් වෙතට කැන්දන දේශපාලනයක් අපේ රටට අතිශයෙන්ම අවශ්‍ය බවය.

දැන් මේ කාරණය මේ රටේ ප‍්‍රධාන ධාරවේ දේශපාලනය සමග ගැට ගසා තේරුම් ගන්නේ කෙසේදැයි බැලීම ඉතාමත් වැදගත්ය. 1972 සම්මත කරගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ආමන්ත‍්‍රණය කළේ 1948 සිටම නොවිසිදී පැවතුන එක් වැදගත් කලාපයක් වන අපේ රටේ ස්වාධිපත්‍යයේ හිමිකාරිත්වය වන මෙරට ජනතාවගේ අභිමතාර්ථයට යළිත් යටත් කිරීම ය.  ඒ ආධිපත්‍යයට උඩින් තබා සිටි බිතාන්‍ය කිරීටයේ සංකේතාත්මක බලය ඉවත් කරමින් ‘ස්වදේශිකයන්ගේ’ පාලනයක් නෛතිකව පිහිටවීම ය. ඒ වැඬේ කරන්නට ඉන්දියාවට වගේ  ඉක්මනකින් හෝ ගැඹුරකින් කරන්නට අපට නොහැකි වූ එක පැත්තකින් ඇත්තක් ය. නිදහසින් වසර 22 යන කල්ම මේ ගැටලූව ආමන්ත‍්‍රණය කරන්නට රටක් ලෙසින් අපිට  නොහැකි වූ බවත් මෙහිදී සදහන් කළ යුතුය. අපි 1948, 1952, 1956, 1960 සහ 1965 වෙන වෙනම ආණ්ඩු පිහිටවූ නමුත් අලූත් ආණ්ඩු ක‍්‍රමයක් හදන්නට ඒ කාටවත් හැකියාවක් ලැබුනේ නැත. හැමෝම දිවුරුවේ බි‍්‍රතාන්‍යායේ මහ රුජිනියගේ පින්තූරයක් ඉදිරියේය. නැත්නම් එතුමියගේ නියෝජිතයා ලෙසින් පත්කළ ආණ්ඩුකාරයෙකු ඉදිරියේය. 1970 ආණ්ඩුව මේ රටේ දේශපාලන ඉතිහාසයට විශේෂයෙන් වටින්නේ මේ කාරණය වගකීමක් ලෙසින් භාර ගැනීම පැත්තෙන් බලන විටය.

1970 ආණ්ඩුවේ දේශපාලනය සහ 1977 ආණ්ඩුවේ දේශපාලනය අතර ඇති එක් ප‍්‍රධාන වෙනසක් වන්නේ ‘සමාජ සුභසාධනය යනු රාජ්‍යයේ වගකීමක්ය’ යන පදනම මත ජනරජයක් ලෙසින් ශක්තිමත් ආර්ථික දේශපාලන වැඩසටහනක් මගින් රට සංවිධානය කරනවාද එසේත් නැතහොත් වෙළදපොළ විසින් ආර්ථිකය හා දේශපාලනය පිළිබද සියලූ තීරණය ගන්නවා යැයි උපකල්පනය කරමින් ඒ වැඬේට ගැලපෙන ගානට රාජ්‍යය දිය කර හරිනවාද යන කාරනය ය. ජයවර්ධන මහතා 1978 අලූත් ව්‍යවස්ථාව හැදුවේ මේ කියන දෙවැනි වැඬේ කරන්නටය. දැන් අපි අත් විදිමින් සිටින්නේ ඒ ගමන් මගේ තාර්කික ප‍්‍රතිඵලවලට යැයි කීමේ කිසිම වැරුද්දක නැත.

අද මේ ආණ්ඩුවේ සිටින එජාප නායකියන්ට තවම තේරෙන්නේ ජේ.ආර් 1978 හදුන්වා දුන් ‘හැම දෙයක්ම වෙළදපොලට විවෘත කිරීම’ ජනරජ විරෝධී හා වෙළදපොල ඌනතිවාදි  වැඩපිළිවෙල එකම දේශපාලනය කියාය. ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනීපකාරයන්ට මේ මොකක්වත්ම තේරෙන්නේ නැත. වෙළදපොළ හා සමාජ සුභසාධනය ප‍්‍රතිසස්කරණමය කෝණයෙන් කළ යුතු බව කියන දේශපාලනය එජාපය  නොවන සාම්ප‍්‍රදයික දේශපාලන පක්ෂ  විසින් අත් හරිමින් සිටීම සේවය කරන්නේ එකවිටම වැරදි දෙකකටය. එයින් එකක් වන්නේ වෙළදපොලට සියල්ල ඌනනය කිරීම එකම දේශපාලනය නම් ලෙසින් භෞතීස්ම වීමත් ඒ වැඬේ හොදටම කළ හැක්කේ එජාපයට යැයි කියන තැනට පල්ලම් බැසීමත්ය. අනෙක් වැරුද්ද වන්නේ වෙළදපොළ හා සමාජ සුභසාධනය එකට යන ප‍්‍රතිසංස්කරණමය දේශපාලනයක් නැතැයි සිතීමට මෙරට සමාජයට යෝජනා කිරීමය. ඒ යෝජනාව හරහා මෙරට තරුණ සමාජය අපැහැදිලි ‘රාත‍්‍රී දේශපාලනයකට’ නැවතත් තල්ලූ වීමට විශාල ඉඩක් ලබා දිමය.

අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි ක්ෂේත‍්‍රයන් ලාභ ලබන වෙළදපොළක් බවට පත් නොකල යුතු යැයි කියන්නට අද ඉතිරිවී තියෙන්නේ පෙරටුගාමී පක්ෂය වැනි මහජන විප්ලවකාරී පක්ෂ පමණක් වීම මගින් පෙන්නුම් කරන්නේ ඒ කාරණයය. මා කියන කාරණය මෙහිදි වැරදියට තේරුම් ගත යුතු නැත. වෙළදපොළ ඌනතිවාදයත් අපැහැදිලි විප්ලවවාදයත් යන දෙකම විසදුම් ලෙසින් මා පිළිගන්නේ නැති නමුත් මේ තරුණ දේශපාලන ව්‍යාපෘතීන්වල කාඩර්වරුන්ගේ කැපකිරීමට විශාල ගෞරවයක් ඇති බව මෙහිදි සදහන් කළ යුතුමය.

අපි ජනරජයක් වෙනවාද එසේත් නැතිනම් නැවතත් කොළනියක් වෙනවාද යන කාරණය පදනම් වී තියෙන්නේ ආර්ථිකයේ පමණක් නොව අධ්‍යාපනය හා විදේශ සම්බන්ධතා වැනි ක්ෂේත‍්‍ර ගනනාවක් සමගය. ඒ ක්ෂේත‍්‍ර ගනනාවේ අලූත් දේශපාලනයක් නිර්්මාණය කිරීම අපි ඉදිරියේ තියෙන විශාලම අභියෝගය යැයි සිතීම නිවැරිදිය.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s